
මාලිමාව පරාජය වන පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙනවා යන ජනපතිගේ ප්‍රකාශය පුරවැසියෙක් ලෙසත් මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ලෙසත් දැඩිව හෙළා දකිමි. එය එක් අර්ථයකින් ජනතාවගේ බලයට හා ඡන්ද අයිතියට විරුද්ධව යාමකි. අනෙක් අර්ථයෙන් මාලිමාවේ අපේක්ෂකයන් හැර අනෙක් අපේක්ෂකයන් සියල්ල හොරු බවට පත්කෙරෙන අතිශය අසාධාරණ පුර්ව නිගමනයකි.
අවසන් පළාත් පාලන මැතිවරණයේ සිට පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාපත් කරගන්නා ක්‍රමය වෙනස් කර නව ක්‍රමය හදුන්වා දෙන ලද්දේ ප්‍රදේශයට වගකියන නියෝජිතයෙක් එම ප්‍රදේශයෙන්ම තෝරාපත් කරගැනීම උදෙසා ය. ගමට වගකියන ගමේ නියෝජිතයා යන්න එහි සරලම අර්ථයයි. එය ජාතික දේශපාලනය සමඟ පටලවා ගැනීමම වැරදිසහගත ය. එමනිසා ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නීතිමය මෙන්ම දේශපාලනික අර්ථයෙන්ද වැරදි සහ අවමන් සහගත ප්‍රකාශයකි.
පොදුවේ සෑම පුරවැසියෙක්ම නියෝජනය කරන ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයේ නියෝජිතයන් හැර අනෙක් සියල්ල හොරු ලෙස හැදින්වීම අනෙක් අපේක්ෂකයන්ට කරන අවමානයක් සහ නින්දාවකි. දේශපාලනයේ දී පමණක් නොව හොරකම් නොකිරීම පුද්ගලික දිවියේ වටිනාකමක් ලෙස පවත්වාගෙන යන මා වැනි අවංකයින් සෑම පක්ෂයකම ඇත. තමන්ගේ පුද්ගලික ධනය පවා සමාජ සේවය වෙනුවෙන් කැප කරන ලද සැබෑ ජනතා සේවකයන් බහුතරයක් සිට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ බව ජනාධිපතිවරයාට අමතක වී ඇත.
පළාත් පාලන ආයතනවල සිදුවන අල්ලස්, හොරකම් හා වංචා ගැන අවධානය යොමු කිරීම වැදගත් වුවත් මාලිමාවේ අපේක්ෂකයන් හැර අනෙක් සියල්ල හොරු වංචනිකයන් කරන මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් වහා ඉල්ලා අස්කර ගත යුතුය. ජනපතිගේ මෙම අත්තනෝමතික හා පක්ෂග්‍රාහී ප්‍රකාශයට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට මෙන්ම විද්වත් පිරිසකගේ සහභාගිත්වයෙන් පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන වෙන් කිරීම සහ ජනාධිපතිවරයාගේ බලතල ගැන වු සම්මන්ත්‍රණයක් පැවැත්වීමටද මා කටයුතු සංවිධානය කරමින් පවතී.
මෙම ප්‍රකාශයෙන් මැතිවරණයට ඉදිරිපත් වන මාලිමාවේ නොවන අපේක්ෂකයනට වන බලවත් අසාධාරණය ගැන ජනතාව දැනුවත් කර නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ හදන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ මහරගම නගර සභා – ගොඩිගමුව උතුර අපේක්ෂක තුසිත බාලසූරිය විසින් 2025.04.16 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.